BlogBlogs

අපේ කාලයේ මාධ්‍යවේදියා

Dec 6, 2010
(අජිත් සමරනායකයන් අප අතරින් වෙන්වි සිව් වසරක් සපිරීම වෙනුවෙනි)     
     මහනුවර ත‍්‍රිත්ව විදුහලේ ත්‍යාග ප‍්‍රදානෝත්සවයකි. උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණ සිටියේ එවකට ලේක්හවුස් සභාපති අධිනිතිඥ ඒ.ජේ පේ‍්‍රමදාස මහතාය. එදින ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ දි වාර්ෂිකව පවත්වන කථික තරගාවලියේ ජයග‍්‍රහකයන්ට ද ත්‍යාග පිරිනැමිණි. මෙහිදි දක්ෂතම සිංහල කථිකයාට හිමි ත්‍යාගයත් දක්ෂතම ඉංගි‍්‍රසි කථිකයාට හිමි ත්‍යාගයත් දිනා ගත්තේ එකම ශිෂ්‍යයෙකි. ඔහු අජිත් සමරනායක ය.
   එදින උත්සවයේ දි අජිත් ට කථාවක් පැවැත්වීමටද නියමිතව තිබිණි. එතරම් චතුරව ඉංග‍්‍රීසි බස හසුරවන හීන්දෑරී තරුණයාගේ බරසාර කථාව පේ‍්‍රමදාස මහතා සාවධානව අසා සිටියේය. ඒ කථාව අතරින් අජිත් සමරනායකගේ දීප්තිමත් අනාගතය ඔහු දුටුවේය. ත්‍යාග ප‍්‍රදානෝත්සවය අවසන් වූ සැනින්ම අජිත්ට ලේක්හවුසියට පැමිණෙන්නැයි පේ‍්‍රමදාස මහතා ආරාධනා කළේ එහෙයිනි.
    අජිත් ලේක්හවුසියට පැමිණි පළමුවෙන්ම කටයුතු කළේ ඬේලි නිවුස් පුවත්පතේ පාර්ලිමේන්තු වාර්තාකරු ලෙසය. ඉන්පසු සන්ඬේ ඔබ්සවර් ඊවිනින් ඔබ්සවර් පුවත්පත් වල සේවය කළේය. උපාලි පුවත්පත් සමාගම ආරම්භ කළ අවදියේ දීම දී අයිලන්ඞ් පුවත්පතට බැදුනු ඔහු කලක් එම පුවත්පතේ කර්තෘ ධූරය හෙබවිය. නැවත සන්ඬේ ඔබ්සවර් පුවත්පතේ කර්තෘ ලෙස ලේක්හවුසයට පැමිණෙන අජිත් 2006 වසරේ නොවැම්බර් මස 22 වනදා මිය යනවිට ෆ‍්‍රයිඬේ පුවත්පතේ කර්තෘවරයා ලෙස සේවය කරමින් සිටියේය.
   අජිත් සමරනායක යනු ලාංකේය මාධ්‍ය ක්ෂේත‍්‍රය තුල අසමාන චරිතයකි.මෙතැන් සිට එම පුවත්පත් කලාවේදියාගේ සුවිශේෂිතාවයන් පිළිද විමසීමට මා උත්සාහ කරමි.
  ඔහුගේ ඇති විශේෂතම ලක්ෂණයක් වූයේ ඉංග‍්‍රීසි මෙන්ම සිංහල භාෂාවෙන් ද ලිවීමට ද දැක්වූ කුසලතාවයයි. කුඩා අවදියේ සිටම මෙම භාෂාවන් දෙකම මැනවින් ප‍්‍රගුණ කළ අතර එකිනෙකට දුරස්ථව සිටින සමාජ දෙකක දැනුම පරිග‍්‍රහණය කිරීමට මේ භාෂා ඥානය හේතුවිය. තවත් අනිවාර්යෙන්ම සදහන් කළ යුතු කරුණක් තිබේ. ඒ අජිත් යනු සරසවියෙන් අධ්‍යාපනයක් නොලද ශාස්තා‍්‍රලීය උගතෙකු නොවීමයි. ඔහු දැනුම උකහාගත්තේ ස්වෝත්සහයෙනි.
     තවත් සුවිශේෂි ලක්ෂණයක් වූයේ එක් අංශයකට සීමා නොවූ දැනුමයි. වත්මන් පුවත්පත් කලාවේදින් බහුතරයක් එක් අංශයකට කොටුවී සිටිති. නමුත් අජිත් විවිධ ක්ෂේත‍්‍ර තම හැකියාවෙන් ආලෝකමත් කළේය. පාර්ලිමේන්තු වාර්තාකරුවෙක් ලෙස කටයුතු කරන කාලයේ දීම සහිිත්‍ය කලා විචාරයෙකු ලෙස පාඨක සමාජයට ගියේය. මෙවැනි පුද්ගලයින් මාධ්‍ය ක්ෂේත‍්‍රයේ විරල වන අතර ඔහුව කිසිදු තර්කයකින් තොරව රෙජි සිරිවර්ධන මර්වින් ද සිල්වා වැනි ලංකාවේ බිහි වූ විශිෂ්ඨතම මාධ්‍යවේදින් ගණයේ ලා සැලකිය හැකිය.
  අජිත් සමරනායක යනු විද්‍යාත්මක දේශපාලන දර්ශනයක් ගුරු කරගෙන ඉදිරියට ගිය මිනිසෙක් විය. ඇතැම්හු තමන් ස්වාධිනයැයි, නිර්පාක්ෂිකයැයි ප‍්‍රකාශ කළ ද දැන හෝ නොදැන යම් දේශපාලන මතවාදයකට සේවය කරති. දේ්ශපාලනයෙන් වියුක්ත වූවෙක් කොතනක වත් නැත . ලංකා සමසමාජ පක්ෂයේ බුද්ධිමය කවය අජිත්ගේ දැනුමට මූලික පදනමක් විය. ගෝත‍්‍රවාදයට, ජාතිවාදයට සහ ආගම්වාදයට දැඩි ලෙස එරෙහි වූ ඔහු යහපත් සමාජයක් නිර්මාණය කිරිමට ඇති එකම මාර්ගය සමාජවාදය යැයි විශ්වාස කළේය. නමුත් මෙහිිදි සදහන් කළ යුතු දෙයක් වන්නේ සමසමාජ පක්ෂයට හිතවත් වූ නමුත් ඔහු සම්ප‍්‍රදායික සමාසමාජකාරයින් මෙන් පොතේගුරුවාදියෙක් නොවූ බවයි. සමාජවාදය මේ මහපොළොවට බද්ධ විය යුතු යැයි අජිත් ඇදහුවේය. වරක් දේශජ සමාජවාදය නමින් ලංකාවට ඔබින සමාජවාදය පිළිබ`ද අදහසක් ද ඔහු ඉදිරිපත් කළේය .
   මේ වෙසෙස් පුවත්පත් කලාවේදියාගේ අකල් මරණයෙන් පසු තිස්ස අබේසේකරයන් දිණමින පුවත්පතේ මංසල අතිරේකයට ලිපියක් ලිවේය. මගේ මතකයේ හැටියට එම ලිපියෙන් ඔහු දැක්වූ අදහසක් ඉදිරිපත් කරන්නෙමි.
   'මට අජිත්ගේ මරණය සැලවූ වහාම   ගැන මා දුක ක් ඇතිවිය. ඔහු ලවා මාගේ මරණයෙන් පසු අනුස්මරණ සටහනක් ලියවා ගැනීමේ අහිංසක බලාපොරොත්තුවක් මගේ සිතේ විය. නමුත් දැන් මට ඔහු පිළිබදව අනුස්මරණ සටහනක් තැබීමට සිදුව ඇතැයි තිස්ස අබේසේකරයන් ලිවේය.
        සැබවින්ම අජිත් සමරනායකයනගේ එම කුසලතාවය ගැන වචනයක් නොලිව්වානම් මෙය අසම්පුර්ණ සටහනක් වනු ඇත . තමන් ඇසුරු කළ මිනිසුන් මිය යාමෙන් අනතුරුව අජිත් ලියූ අනුස්මරණ සටහන් ඉතාමත් අර්ථාන්විත ලියවිලි විය. තමන් පිළිබ`දව ලියවෙන හොදම අනුස්මරණ නිබන්ධනය ලියන්නේ අජිත් බව 80 වන දශකයට එළඹීම යන කාව්‍ය   රචනාවේදි රෙජි සිරිවර්ධනයන් සදහන් කළේය.
     අජිත් සමරනායක යනු පුදුමාකාර නිහතමානීත්වයකින් යුත් මිනිසෙකි. සුඛෝපභෝගි ජිවිතයක් ගත කිරීමට අවැසි පවුල් පසුබිම හා ඉංග‍්‍රිසි දැනුම ඔහුට නොඅඩුව තිබිණි. නමුත් ඔහු එම ව්‍යාජ ජිවිතය පසෙකලා මිනිසුන් සමග ජිවත්විය. තම ජිවන පරමාදර්ශ කෙමෙන් අහෝසි වී මිල හා ස්වාර්ථය මුලික වන සමාජයක් නිර්මාණය වන අයුරු ,සමීපතමයිින් ප‍්‍රග්ධනයේ ගොදුරු වන අයුරු ඔහු දුටුවේය.නමුත් ඔහු කිසිවිටකත් ප‍්‍රග්ධනයේ ගොදුරක් නොවීය.
මේ යුගයේ හෘද සාක්ෂියට අවනතව ජිවත්වන මිනිසුන්ගේ නියත උරුමය වන්නේ හුදකලාවය. මේ හුදකලාව අජිත් ව වඩාත් වැඩියෙන් මීවිතයට යොමුකළ බව මගේ හැගිමය. කෙසේ වුවද ඔහුගේ ඇසුර අපේ පරම්පරාවට අහිමිවිය. ඔහුගේ අකල් වියෝව නව පරපුරට ලබාගත හැකි අත්දැකිම් හා දැනුම් සම්භාරයක් අහිමිකරවිය. එම රික්තකය පිරවීමට තරම් වන මාධ්‍යවේදියෙක් ද තව බොහෝ කාලයකට බිහි නොවනු ඇත.

0 comments:

Post a Comment