BlogBlogs

පළමු ගල මැයට ගසන්නට පෙර

Feb 12, 2011
      ලංකා පුවත් වෙබ් අඩවියේ ප‍්‍රභාකරන්ගේ මව වන වේළුපිල්ලේ පාර්වති සම්බන්ධව ලිපියක් පළකර ඇති බව මෙම ලේඛකයාට දැනුම් දුන්නේ මාධ්‍ය ආයතනයක සේවය කරන මිතුරියකි.
      සාමාන්‍යයෙන් මා එම වෙබ් අඩවිය පරිශිලනය කරන්නේ නැත. එහෙත් මේ ලිපිය කියවීම සදහා වෙබ් අඩවියට පිවිසුනෙමි.
      ලිපිය නම් කර තිබුනේ 'රුදුරු ත‍්‍රස්තවාදියෙකුගේ මවගේ ඉරණම'යනුවෙනි.දැනට රෝගීවඅසාධ්‍යව පසුවන වේළුපිල්ලේ පාර්වතිගේ මවගේ යාරූපයක් ද එහි පළකර තිබුණි.
වේළුපිල්ලේ පාර්වති 
     පාර්වතීගේ අසනීප තත්වය  ලංකා පුවත් වෙබ් අඩවියේ අසීමීත සන්තෝෂයට හේතුවී තිබෙන බව ලිපිය කියවන  ඕනෑම අයෙකුට වැටහෙනු ඇත.
      ප‍්‍රභාකරන් ත‍්‍රස්තවාදියෙකු වීමට පුළුවන.කැමති අය එලෙසින් හැදින්වූවත් අපට ප‍්‍රශ්නයක් නැත.එහෙත් මේ අම්මා මෙලොවට බිහිකළේ තවත් එක් ළදරුවෙක් ව පමණි.මනුෂ්‍ය ප‍්‍රාණියෙක් ව පමණි. ඒ මිනිසා තුලින් ත‍්‍රස්තවාදියෙක්ව බිහිකළෙත්, පෝෂණය කළෙත් මේ සිංහල බෞද්ධ අධිපතිවාදී සමාජ ක‍්‍රමයයි .මිනිස් කුලකයේම තවත් මිනිසෙක්ව පහත්කර සලකන්නට හුරු කරන ජාතිවාදී මානසිකත්වයයි.
      පුරවැසි පනත සම්මත කරමින් 1948 දී දෙමළ ජාතිකයන් හත් ලක්ෂයකගේ ඡන්ද බලය අහිමි කරන විට ප‍්‍රභාකරන් ඉපිදී සිටියේ වත් නැත.56 සිංහල පමණක් රාජ්‍ය භාෂාව කරන පනත් සම්මත කර ගන්නා විට ප‍්‍රභාකරන් වයස අවුරුදු දෙකක බිළිදෙකි.තවද බණ්ඩාරනායක - චෙල්වනායගම්,ඩඞ්ලි -චෙල්වනායගම් වැනි ගිවිසුම්වලට ප‍්‍රභාකරන් බාධා කළෙත් නැත.
       සත්‍ය වශයෙන්ම වේළුපිල්ලේ ප‍්‍රභාකරන් යනු එක්තරා භාෂාවක් කථාකරන පීඩිත ජනවර්ගයක සමාජ අසහනයේ තාර්කික ප‍්‍රතිඵලයකි.නමුත් එය එක්තරා ආකාරයක විකෘති ප‍්‍රකාශනයක් බව මෙහිදී  ලේඛකයා නොපවසන්නේ නැත.
      කෙසේ නමුත් ප‍්‍රභාකරන්ගේ මව වීමෙන් වේළුපිල්ලේ පාර්වති කර ඇත්තේ වරදක් නම්, ඒ අර්ථයෙන් ඇය පව්කාරියක් වන්නේ නම් ලංකා පුවත් සුපින්වතුන්ට මා එක් දෙයක් මතක් කරන්නට කැමැත්තෙමි.ඒ මෝසස්ගේ දර්ශණයට අනුව මැකදලේනාවේ විසු මරියාට ගල් ගසන්නට පැමිණි පූජකයන් ඉදිරියේ ජේසුස් ක‍්‍රිස්තුන් වහන්සේ කළ ප‍්‍රකාශයයි.
       'ඔබලා අතුරින් කිසිදිනක පවක් නොකළ අයෙක් සිටී ද එසේ නම්, ඔහු පැමිණ පළමු ගල මැයට ගසන්න.......'